ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ කාන්තා දින වැඩසටහනක් පවත්වයි

2023 මාර්තු මස 08 වන දිනට යෙදුනු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, මාලා ලමාහේවා මැතිණියගේ මූලිකත්වයෙන් කාන්තා නිලධාරීන්, කාන්තා නාවිකයින් සහ නාවික පුද්ගලයින්ගේ භාර්යාවන් උදෙසා විශේෂ කාන්තා දින වැඩසටහනක් 2023 මාර්තු මස 11 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ සංස්කෘතික වාදන ශාලාවේ දී පවත්වන ලද අතර, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.

මෙම වැඩසටහන තුලදී කාන්තාවන් හට විශේෂයෙන් වැදගත් වන සෞඛ්‍ය, මූල්‍යමය, නීතිමය හා රූපලාවන්‍ය ගැටළු සම්බන්ධයෙන් විශේෂ දේශණ මාලාවක් පවත්වන ලදී. ඒ අනුව, ඒ සඳහා විශේෂඥ මනෝ වෛද්‍ය, වෛද්‍ය කපිතාන් තුෂාණි හේනේගම, ප්‍රජා පොලිස් කොට්ඨාශයේ ස්ථානාධිපති, ප්‍රවීණ දේශක සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා සහ ඔරිෆ්ලේම් ආයතනයේ ජ්‍යේෂ්ඨ ඩයමන්ඩ් අධ්‍යක්ෂිකා තමාලි වාසල මහත්මිය යන විද්වත් මණ්ඩලය විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී. එමෙන්ම, දන්ත වෛද්‍ය සායන, රූපලාවන්‍ය සේවාවන් හා එම විෂයයන් අලෙවිය මෙන්ම නාවික හමුදා වැටුප් අංශය, වෛද්‍ය අංශය, නීතී සේවා අංශයන් මඟින් කාන්තා නාවික පුද්ගලයන් හට උපදේශක හා උප‍දේශන සේවාවන් ලබා ගැනීමටද අවස්ථාව සලසා දෙන ලදී.

එමෙන්ම, මෙම වැඩසටහන සඳහා සහභාගී වු සියළුම කාන්තාවන් හට ‘Nature Secret’, ‘Unilever’ සහ ‘Hayleys Aventura’ ආයතනයන්ගේ අනුග්‍රාහකත්වයෙන් ලබාදුන් ත්‍යාග ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.

තවද, මෙම වැඩසටහන සඳහා සේවා වනිතා ඒකකයේ ගරු උප සභාපතිතුමිය උදේනි කුලරත්න මහත්මිය, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේශ් ද සිල්වා, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් ඒඑම්ඩී අමරකෝන්, සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, කමිටු සාමාජිකාවන්, නාවික හමුදා මුලස්ථානය සහ නාවික විධාන නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ කාන්තා නිලධාරිණියන් සහ සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි හා ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.