ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ පෙර පාසල් ක්‍රීඩා උත්සවය උත්කර්ෂවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ, නාවික හමුදා සේවා වනිතා පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය 2025 මාර්තු මස 23 වැනි දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී, අනූෂා බානගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා ප්‍රියංගා කුමාරසිංහ මහත්මියගේ සහභාගීත්වයෙන් ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසල් තුල ඉගෙනුම ලබන දු දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී අනුෂා බානගොඩ මැතිණියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත මෙම ක්‍රීඩා උත්සවය සෑම පෙර පාසලකම වාර්ෂිකව පවත්වනු ලබයි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ සේවා වනිතා පෙර පාසල් ක්‍රීඩා උත්සවය, ගරු සභාපති තුමිය විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව ආරම්භවු අතර, ක්‍රීඩා ඉසව් කීහිපයකින් සමන්විත වූ මෙම ක්‍රීඩා උත්සවය සඳහා දූ දරුවන් 90 දෙනෙකු සහභාගී විය. ක්‍රීඩා උත්සවය දරුදැරියන්ගේ සරඹ සංදර්ශනයකින් විචිත්‍රවත් වු අතර, ක්‍රීඩා උත්සවය අවසානයේ ත්‍යාග සහ සහතික ප්‍රධානය කිරීම ආරාධිත අමුත්තන් විසින් සිදුකෙරිණි.

තවද, මෙම ක්‍රීඩා උත්සවය සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරන නිලධාරී ඇතුළු කාර්ය මණ්ඩලය, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් සහ පෙර පාසල් දූ දරුවන්ගේ දෙමාපියන් පිරිසක් සහභාගී වී සිටියහ.