නාවික හමුදා සේවා වනිතා ඒකකයේ අභිනව ගරු සභාපතිණිය වෙනුවෙන් පිළිගැනීමේ සාදයක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ 18 වන ගරු සභාපතිණිය වශයෙන් වැඩ භාරගත් අනූෂා බානගොඩ මැතිණිය සේවා වනිතා ඒකකය වෙත පිළිගැනීම වෙනුවෙන් 2025 ජනවාරි මස 17 වැනි දින නාවික හමුදා මූලස්ථාන නිලධාරි නිවාසයේ දී පිළිගැනීමේ සාදයක් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නිලධාරී නිවාසය වෙත ගරු සභාපතිණිය නාවික හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායමේ විචිත්‍රවත් වෙස් නර්ථනයකින් පිළිගැනීමෙන් අනතුරුව, සියළු දෙනාගේ උණුසුම් සුභපැතුම් මධ්‍යයේ සාම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන් සිළු දල්වා ආශීර්වාද ලබාගන්නා ලදී. අනතුරුව, උත්සවයේ කටයුතු ආරම්භ කරමින් සේවා වනිතා විධායක කමිටු සාමාජිකා, ප්‍රියංගා කුමාරසිංහ මැතිණිය විසින් පිළිගැනීමේ කතාව පවත්වා සියළුම සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් කේක් කැපීම සිදු කෙරිණි.

තවද, මෙම උත්සව අවස්ථාව නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ ගායන, වාදන සහ නර්ථන අංගයන්ගෙන් වර්ණවත් වූ අතර, මෙම පිළිගැනීමේ උත්සවය සඳහා සේවා වනිතා විධායක කමිටු සාමාජිකාවන්, නාවික හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ කාන්තා නිලධාරිනියන් මෙන්ම සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි, ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.