නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් නාවික හමුදා පුද්ගලයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීමට මූල්‍යමය දායකත්වය ලබා දෙයි

නාවික හමුදා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් වැලිසර නාවික පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ සේවා වනිතා උපයෝගීතා ගොඩනැගිල්ල සහ නාවික විවාහක නිවාස ඇතුළු පහසුකම්, 2024 දෙසැම්බර් මස 30 වැනි දින නාවික හමුදාධිපති, අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ළමාහේවා මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා සිවිල් ඉංජිනේරු හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් නාවික හමුදා පුද්ගලයින්ගේ සුභසාධනය වෙනුවෙන් ඉදිකළ උපයෝගීතා මධ්‍යස්ථානය විවෘත කර නාවික හමුදා පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන්, එකම වහලක් යට සේවාවන් කිහිපයක් සපුරා ගැනීමේ අරමුණෙන්, වැලිසර පැරණි මැහුම් මධ්‍යස්ථානය පැවති ගොඩනැගිල්ල සේවා වනිතා ඒකකයේ මූල්‍ය දායකත්වයෙන් වඩාත් ඉඩ පහසුකම් සහිතව පුළුල් කර, එහි සේවා වනිතා අබාන්ස් ප්‍රදර්ශනාගාරය, සිංගර් ප්‍රදර්ශනාගාරය, DSI ප්‍රදර්ශනාගාරය සහ දම්රෝ ප්‍රදර්ශනාගාරයක් ස්ථාපිත කිරීමෙන් පසුව මෙලෙස විවෘත කෙරිණි.

එමෙන්ම, නාවික හමුදාධිපති ගේ සංකල්පයක් මත, නාවික හමුදා පුද්ගලයින්ගේ විවාහක නිවාස ගැටලුවට විසඳුමක් ලෙස, වැලිසර නාවික පරිශ්‍රයේ, සේවා වනිතා ඒකකයේ මූල්‍ය දායකත්වය මත සහ නාවික හමුදා සිවිල් ඉංජිනේරු හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් අභිනවයෙන් ඉදිකෙරුණු නාවික විවාහක නිවාස විසි එකක් (21) විවෘත කර, නාවික හමුදාධිපතිගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමියගේ ප්‍රධානත්වයෙන් නාවිකයින්ගේ පරිහරණය සඳහා භාරදීම සිදුකෙරිණි.

තවද, එම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ඇතුළු බටහිර නාවික විධානයේ සහ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි සහ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.