නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් අර්ධ වශයෙන් නිම කරන ලද නිවසක් සම්පූර්ණයෙන් නිම කිරීමට අවශ්‍ය මූල්‍යමය දායකත්වය ලබා දෙයි

සක්‍රීය සේවයේ යෙදී සිටියදී මියගිය සප්‍රසුනි ඩීඑම්ආර් දිසානායක ගේ අර්ධ වශයෙන් නිම කරන ලද නිවස, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් සම්පුර්ණ කිරීමට කටයුතු කරන ලද අතර, එම නිවස 2024 දෙසැම්බර් මස 23 වැනි දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් එම නාවිකයාගේ පවුලේ සාමාජිකයන් වෙත භාරදීමට කටයුතු කෙරිණි.

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සංකල්පයකට අනුව නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ජීවන තත්වය උසස් කිරීමේ අරමුණින් සේවා වනිතා අර්ධ නිවාස ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් ලෙස සේවා වනිතා අරමුදල මඟින් රු. 1,233,165.16 ක පිරිවැයකින් සම්පූර්ණ කිරීමට කටයුතු කරන ලද එම නිවස මෙලෙස 2024 දෙසැම්බර් මස 23 වැනි දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් එම නාවිකයාගේ පවුලේ සාමාජිකයන් වෙත භාරදීමට කටයුතු කෙරිණි.

නාවික පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා අඩක් නිම කරන ලද නිවාස 12 ක් සම්පූර්ණ කිරීම සඳහා සේවා වනිතා ඒකකයේ අරමුදල් මඟින් මේ වන විට රු. 11,490,843.47 ක මුදලක් වෙන් කර ඇති අතර, එම නිවාසයන්හි අළුත්වැඩියාවන් මේ වන විට අවසන් අදියරේ පවතින බැවින්, අදාළ නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ කාලත්‍රයින් වෙත ඉදිරියේදී භාර දීමට කටයුතු සුදානම් කර ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික ස්ථානගතකිරීම් මහව ආයතනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් (නාපාබල) ප්‍රදීප් ගුණතිලක, සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි සහ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.