නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් අර්ධ වශයෙන් නිම කරන ලද නිවසක් සම්පූර්ණයෙන් නිම කිරීමට අවශ්‍ය මූල්‍යමය දායකත්වය ලබා දෙයි

නායක ඉංජිනේරු කාර්මික (සිඉ) ආර්එම් බංඩාර ගේ අර්ධ වශයෙන් නිම කරන ලද නිවස, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් සම්පුර්ණ කිරීමට කටයුතු කරන ලද අතර, එම නිවස 2024 මාර්තු මස 27 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් එම නාවිකයා වෙත භාරදීමට කටයුතු කෙරිණි.

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සංකල්පයකට අනුව නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ජීවන තත්වය උසස් කිරීමේ අරමුණින් සේවා වනිතා අර්ධ නිවාස ව්‍යාපෘතියක් 2023 වර්ෂය තුළ සියළුම විධානයන් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා සේවා වනිතා අරමුදල මඟින් රු. 6,000,000.00 කට ආසන්න මුදලක් ලබා දෙන ලද අතර, මේ සඳහා එක් නාවික විධානයකින් මූල්‍යමය අපහසුතා මත අර්ධ ලෙස නිවාස ඉදිකර ඇති සහ විවිධ කාළගුණික තත්වයන් යටතේ අවධානම් තත්වයට පත්ව ඇති රුපියල් මිලියනයකට අඩු පිරිවැයක් යටතේ ඉදිකර අවසන් කිරීමට හැකියාව ඇති එක් නිවාසය බැගින් තෝරා ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ නිර්දේශය මත නායක ඉංජිනේරු කාර්මික (සිඉ) ආර්එම් බංඩාර ගේ අර්ධ වශයෙන් නිම කරන ලද නිවස, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ රු. 1,000,000.00 ක මූල්‍යමය දායකත්වයෙන් සම්පුර්ණ කර, එම නාවිකයා වෙත මෙලෙස භාරදීමට කටයුතු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි සහ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.