වැලිසර නාවික පරිශ්‍රයේ සේවා වනිතා පෙර පාසල් ක්‍රීඩා උත්සවය උත්කර්ෂවත් අයුරින් පවත්වයි

වැලිසර නාවික පරිශ්‍රයේ නාවික හමුදා සේවා වනිතා පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය 2024 මාර්තු මස 12 වන දින නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් වැලිසර නාවික පරිශ්‍රයේ හොකී ක්‍රීඩා පිටියේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සේවා ඒකකය විසින් කටයුතු කෙරිණි.

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසල්හි ඉගෙනුම ලබන දු දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ගරු සභාපතිණියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත මෙම ක්‍රීඩා උත්සවය සෑම පෙර පාසලකම වාර්ෂිකව පවත්වනු ලබයි.

ඒ අනුව, වැලිසර නාවික පරිශ්‍රයේ සේවා වනිතා පෙර පාසල් ක්‍රීඩා උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් ජාතික ධජය ඔසවා ඔලිම්පික් පහන දැල්වීමෙන් අනතුරුව, ක්‍රීඩා උත්සවයේ ආරම්භ වූ අතර, ඒ සඳහා දූ දරුවන් 108 දෙනෙකු සහභාගී විය.

එමෙන්ම, පෙර පාසැල් දූ දරුවන්ගේ විචිත්‍රවත් සරඹ සංදර්ශනයකින් අනතුරුව, ගරු සභාපතිනිය විසින් දූ දරුවන් වෙත ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි අනුෂා රත්නායක මහත්මිය, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා, නාවික අණභාර නිලධාරි (වැලිසර) කොමදෝරු ප්‍රසාද් ජයසිංහ, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් ජානක හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් එම්බීඑන්ඒ පේමරත්න, සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය සහ දූ දරුවන්ගේ දෙමව්පියන් පිරිසක්ද සහභාගී වී සිටියහ.