2023 ඔක්තෝබර් මස 19 වන දිනට යෙදී තිබූ පියයුරු පිළිකාවට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව නාවික හමුදා සේවයේ නියුතු කාන්තා නාවික පුද්ගලයින්, නාවික පුද්ගලයින්ගේ භාර්යාවන් සහ නාවික හමුදා සිවිල් සේවිකාවන් වෙනුවෙන් පියයුරු පිළිකා වළක්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 ඔක්තෝබර් 20) නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඒ අනුව, මෙම වැඩමුළුව ජාතික පිළිකා මර්දන ආයතනයේ දායකත්වයෙන් පැවැති අතර, ජාතික පිළිකා මර්දන ඒකකයේ වෛද්‍ය කැලුමි ලීලාරත්න මහත්මිය, හෙද නිලධාරිනී චම්මි බාලසූරිය මහත්මිය සහ වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රාජකාරී නියුතු ප්‍රධාන හෙද නිලධාරිනී සන්ධ්‍යා ගුණතිලක මහත්මිය විසින් දේශන පැවැත්වීමට කටයුතු කෙරිණි.
තවද, මෙම වැඩමුළුව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී, උදේනී කුලරත්න මැතිණිය, වෛද්‍ය කොමදෝරු නන්දනී විජේදෝරු, නාවික හමුදා මූලස්ථානය සහ නාවික විධාන නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ කාන්තා නිලධාරිනියන් හා කාන්තා නාවිකයන්, නාවික පුද්ගලයන්ගේ භාර්යාවන්, නාවික හමුදා සිවිල් සේවිකාවන් සහ සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්යය මණ්ඩලයද සහභාගී වී සිටියහ.