නාවික හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු විධායක කමිටු හා කමිටු සාමාජිකාවන් වෙනුවෙන් සමුදීමේ සාදයක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු විධායක කමිටු හා කමිටු සාමාජිකාවන් වන ඉනෝකා කත්‍රිආරච්චි මැතිණිය, තුෂාරි රත්නවීර මැතිණිය, සන්ධ්‍යා ගුණසේකර මැතිණිය, ඉමාලි අමරෝසා මැතිණිය සහ දිලූෂා සෝමචන්ද්‍ර මැතිණිය වෙනුවෙන් සමුදීමේ සාදයක් සේවා වනිතා ඒකකයේ වත්මන් ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ සේවා වනිතා සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් 2023 අගෝස්තු මස 04 වන දින නාවික හමුදා මූලස්ථානයේ නිලධාරී නිවාසයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සහ නාවික හමුදා නර්ථන කණ්ඩායමේ ගායන, වාදන සහ නර්ථන අංගයන්ගෙන් උත්සවය වර්ණවත් වූ අතර, වත්මන් ගරු සභාපතිනිය විසින් නාවික හමුදා සේවා වනිතා ඒකකයෙන් සමුගන්නා ලද විධායක කමිටු හා කමිටු සාමාජිකාවන්ගේ සේවය අගයමින් සමරු තිළිණ සහ ත්‍යාග ප්‍රධානයක් ද සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ කාන්තා නිලධාරිණියන් මෙන්ම සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.