සේවා වනිතා ඒකකය මඟින් රෝගී තත්වයෙන් පෙළෙන ජ්‍යේෂ්ඨ නාවිකයෙකුගේ මවක් වෙත විශේෂිත පහසුකම් සහිත රෝද පුටුවක් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත ප්‍රධාන සුළු නිලධාරි ඊඑම්එම්බී ඒකනායක විසින් තම රෝගී තත්වයෙන් පෙළෙන මව වෙනුවෙන් විශේෂිත පහසුකම් සහිත රෝද පුටුවක් ලබා ගැනීමට ඉදිරිපත් කරන ලද ඉල්ලීමට අනුව, එම ජ්‍යෙෂ්ඨ නාවිකයා වෙත විශේෂිත පහසුකම් සහිත රෝද පුටුවක් පරිත්‍යාග කිරීම, 2023 ජූලි මස 21 වන දින නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, මාලා ලමාහේවා මැතිණිය ගේ ප්‍රධානත්වයෙන් එම කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

නාවික හමුදා සේවා වනිතා ඒකකය වෙත නාවික පුද්ගලයින් විසින් සිදු කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, ගරු සභාපතිනිය විසින් සිංගප්පූරුවේ මහ කරුණා බෞද්ධ සංගමයේ සහ ශ්‍රී ලංකාරාමයේ අනුශාසක ආචාර්ය අතිපූජ්‍ය කරඳටියන ගුණරතන ස්වාමීන් වහන්සේ වෙත කරන ලද ඉල්ලීමකට අනුව උන් වහන්සේ විසින් විශේෂිත පහසුකම් සහිත රෝද පුටුවක් සේවා වනිතා ඒකකය වෙත ප්‍රදානය කෙරිණි. ඒ අනුව, එම රෝද පුටුව මෙලෙස ප්‍රධාන සුළු නිලධාරි ඊඑම්එම්බී ඒකනායක ගේ මව වෙත පරිත්‍යාග කිරීම 2023 ජුලි මස 21 වන දින ගරු සභාපතිතුමිය විසින් සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි සහ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.