උතුරු මැද පළාතේ නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ ළඟම ඥාතීන් සඳහා සේවා වනිතා ඒකකයෙන් සෞඛ්‍ය සායනයක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සංකල්පයකට අනුව උතුරු මැද නාවික විධානයට අයත් ආයතනයන්හි සේවය කරන නාවික පුද්ගලයින් සහ උතුරු මැද පලාතේ ජීවත් වන නාවික පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල ළගම ඥාතීන් වෙනුවෙන් සංවිධානය කළ වෛද්‍ය සායනයක් 2023 ජුනි මස 16 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ මාලිමා උත්සව ශාලා පරිශ්‍රයේදී නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

එමෙන්ම, 2023 ජූනි මස 15 වන දින අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා, කොමදෝරු නන්දනී විජේදෝරු ගේ සහභාගීත්වයෙන් සාලියපුර ‘මිත්‍ර’ බාලිකා ළමා නිවාසයේ දරුවන් හට විශේෂ දන්ත වෛද්‍ය සායනයක් පවත්වන ලද අතර, ඊට සමගාමීව සේවා වනිතා ඒකකයේ සමාජ සත්කාරක සේවාවක් වශයෙන් 2023 ජුනි මස16 වන දින ප්‍රදේශයේ ගර්භණී මව්වරුන් 10 දෙනෙකු ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් 50 ක් වෙනුවෙන් වියළි ආහාර සලාක ලබාදීම සිදුකෙරිණි.

තවද, මෙම වැඩසටහන සඳහා සේවා වනිතා ඒකකයේ කමිටු සාමාජිකා කමිලා බෝවත්ත මැතිණිය, ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් කේඑස් දිසානායක සහ සේවා වනිතා ඒකකයේ සම්බන්ධිකරණ නිලධාරි සහ සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයද සහභාගී වී සිටියහ.