නාවික හමුදා සේවා වනිතා පෙර පාසල් වාර්ෂික ක්‍රීඩා උත්සවය උත්කර්ශවත් අයුරින් පවත්වයි

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී මාලා ළමාහේවා මැතිණියගේ උපදෙස් හා මඟපෙන්වීම මත නාවික පෙර පාසල් දු දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණින්, 2023 වර්ෂයේ සේවා වනිතා නාවික පෙර පාසල් වාර්ෂික ක්‍රීඩා උත්සවය සියළුම පෙර පාසැල් වල පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර, ඊට සමඟාමීව වැලිසර නාවික පරිශ්‍රයේ පිහිටි නාවික පෙර පාසලේ ක්‍රීඩා උත්සවය සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් 2023 මාර්තු මස 30 වන දින වැලිසර නාවික හොකී ක්‍රීඩාංගණයේදී උත්කර්ශවත්ව පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ගරු සභාපතිතුමිය විසින් ජාතික ධජය එසවීමෙන් පසු ඔලිම්පික් පහන දල්වා, ක්‍රීඩා උත්සවය ආරම්භ කරන ලද අතර, මෙම ක්‍රීඩා උත්සවය සඳහා දූ දරුවන් 128 දෙනෙකු සහභාගී විය. එය දරු දැරියන් විසින් ඉදිරිපත් කල සරඹ සංදර්ශනයකින් ද විචිත්‍රවත් විය. වාර්ෂික ක්‍රීඩා උත්සවය අවසාන‍යේ ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය ගරු සභාපතිනිය ඇතුළු ආරාධිත අමුත්තන් විසින් සිදු කරන ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි උදේනි කුලරත්න මහත්මිය, විධායක කමිටු සාමාජිකා චම්පිකා සිල්වා මහත්මිය, ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් ඒඑම්ඩී අමරකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයින් සහ දූ දරුවන්ගේ දෙමව්පියන් ද මෙම ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී විය.