නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණයෙන් ඉන්දීය නාවික හමුදාව වෙතින් ලබා දුන් පාසැල් උපකරණ දුෂ්කර පාසැල් ළමුන් වෙත ප්‍රදානය කෙරේ

ඉන්දීය නාවික හමුදා ප්‍රධානී ගේ මැතිණිය වන කලා හරී කුමාර් මැතිණිය ශ්‍රී ලංකාවේ සිදු කරන ලද සංචාරයකදී, ශ්‍රී ලංකාවේ දුෂ්කර පාසල් වල අධ්‍යාපනය හදාරන දූ දරුවන් වෙත බෙදාදීම සඳහා පොත්පත් සහ පාසල් උපකරණ ප්‍රදානය කිරීමට ගත් තීරණයකට අනුව, 2023 පෙබරවාරි මස 27 වන දින දිවයිනට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Sukanya’ නෞකාව මඟින් රැ‍ගෙන එන ලද එම පාසල් උපකරණ කට්ටල 100 ක් සංකේතාත්මකව සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය වෙත ප්‍රදානය කිරීම 2023 පෙබරවාරි මස 27 වන දින කොළඹ වරාය පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ඒ අනුව, එම පාසැල් පොත්පත් සහ උපකරණ කට්ටල නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණිය වෙත භාර දීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් විකාශ් සූඩ් හා එම මැතිණිය පුජා සූඩ් මහත්මිය සහ ‘INS Sukanya’ නෞකාවේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් පර්නව් ආනන්ද් ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

තවද, එලෙස ප්‍රදානය කරන ලද පොත්පත් සහ පාසල් උපකරණ කට්ටල ගාල්ල, දියකිතුල්කන්ද කණිෂ්ඨ විද්‍යාලයේ සහ මොණරාගල, කිත්සිරිගම කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන් හට සංකේතාත්මකව ප්‍රදානය කිරීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.