නාවික හමුදා සේවා වනිතා ඒකකයේ අභිනව ගරු සභාපතිණිය වෙනුවෙන් නාවික හමුදා මූලස්ථාන නිලධාරි නිවාසයේ දී පිළිගැනීමේ සාදයක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ 17 වන සභාපතිණිය වශයෙන් වැඩ භාරගත් ගරු මාලා ළමාහේවා මැතිණිය වෙනුවෙන් 2022 දෙසැම්බර් මස 22 වන දින නාවික හමුදා මූලස්ථාන නිලධාරි නිවාසයේ දී පිළිගැනීමේ සාදයක් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නිලධාරී නිවාසය වෙත ගරු සභාපතිනිය නාවික හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායමේ විචිත්‍රවත් වෙස් නර්ථනයකින් පිළිගැනීමෙන් අනතුරුව, සියළු දෙනාගේ උණුසුම් සුභපැතුම් මධ්‍යයේ සාම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන් සිළු දල්වා ආශීර්වාද ලබාගන්නා ලදී. අනතුරුව, පිළිගැනීමේ වැඩසටහන ආරම්භ කරමින් විධායක කමිටු සාමාජිකා උදේනි කුලරත්න මැතිණිය විසින් පිළිගැනීමේ කතාව පවත්වා සියළුම සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් කේක් කැපීම සිදු කරන ලදී.

තවද, මෙම උත්සව අවස්ථාව නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ ගායන, වාදන සහ නර්ථන අංගයන්ගෙන් වර්ණවත් විය.

මෙම පිළිගැනීමේ උත්සවය සඳහා සේවා වනිතා විධායක කමිටු සාමාජිකාවන්, සේවා වනිතා සාමාජිකාවන්, සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ අධීක්ෂණ නිලධාරි කොමදෝරු කෝසල වර්ණකුලසූරිය මෙන්ම සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.