2022 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන්, කඤ්චුක පූජාව සහ නාවික ධජයන් වෙත සෙත් පැතීමේ ධජ ආශිර්වාද පුණ්‍යමහෝත්සවය 2022 නොවැම්බර් 09 සහ නොවැම්බර් 10 යන දිනයන්හි රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

72 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා නාවික හමුදාව විසින් සංවිධානය කර ඇති ආගමික වැඩසටහන් මාලාවේ බෞද්ධාගමික වැඩසටහන් ආරම්භ කරමින්, 2022 නොවැම්බර් මස 09 වන දින නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද කඤ්චුක පූජා පිංකම රුවන්වැලි මහා සෑ රදුන් අබියස පවත්වන ලද අතර, එහිදී, අලංකාරවත් පෙරහැරකින් රැගෙන ආ මීටර 300ක දිගකින් යුත් බෞද්ධ ධජයක් රුවන්වැලි මහ සෑ ගර්භය වටා පැළඳවීම සිදුකෙරිණි. අනතුරුව, 2022 නොවැම්බර් මස 10 වන දින ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස නාවික ධජයන් තැන්පත්කර බෞද්ධාගමික වත් පිළිවෙත් සිදුකර ධජයන් වෙත සෙත්පැතීමේ ධජ ආශීර්වාද පූජාව සිදුකරන ලදි.

මෙම ආගමික වැඩසටහන සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති, නාවික හමුදා ‍ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම, ගිණිකොණ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් පූජිත විතාන, නාවික හමුදා ‍ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන් සහ කමිටු සාමාජිකාවන්, නාවික හමුදා මූලස්ථානය සහ උතුරු මැද නාවික විධානය ඇතුළු සියළුම නාවික විධානයන්ට අනුයුක්ත ධජ නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය මෙන්ම සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් පිරිසක්ද සහභාගී වී සිටියහ.