තණමල්විල, කිතුල්කොටේ රතන සදහම් ආරාමයෙහි වාර්ෂිකව පවත්වනු ලබන කඨින මහා පුණ්‍යමහෝත්සවය නිමිති කොට ගනිමින්, එම විහාරස්ථානය වෙත පැමිණෙන සැදැහැවතුන් හට වන්දනාමාන කිරීම සඳහා කඩුවෙල මහමෙව්නා බෝධිඤාණ භාවනා අසපුව වෙතින් වැඩම කරවන ලද සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තණමල්විල, කිතුල්කොටේ රතන සඳහම් ආරාමයෙහි තැම්පත් කිරීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ මුලිකත්වයෙන් 2022 ඔක්තෝබර් මස 30 වන දින සිදු කෙරිණි.

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සංකල්පයකට අනුව මෙම සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවන ලද අතර, 2022 ඔක්තෝබර් මස 29 වන දින පැවති සර්වරාත්‍රික පිරිත් සඡ්ඡායනාවෙන් අනතුරුව 2022 ඔක්තෝබර් මස 30 වන දින මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ තැම්පත් කිරීමේ කටයුතු මෙලෙස නාවික හමුදාධිපති ගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ මුලිකත්වයෙන් සිදුකරන ලදී.

මෙම පුණ්‍ය කටයුත්ත සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති, නාවික හමුදා ‍ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හරීන්ද්‍ර ඒකනායක, අධ්‍යක්ෂ නාවික විදුලි කොමදෝරු ජානක ගුණසීල, දකුණු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නිශාන්ත පීරිස්, නාවික අණභාර නිලධාරි (වැලිසර) කොමදෝරු මහේෂ් ද සිල්වා, සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි මාලා ළමාහේවා මහත්මිය, විධායක කමිටු සාමාජිකා සන්ධ්‍යා ගුණසේකර මහත්මිය, කමිටු සාමාජිකා කුමාරි පීරිස් මහත්මිය, දකුණු නාවික විධානයට අයත් සියළුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සියළුම ආයතනයන්හි අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය සහ දකුණු නාවික විධානයට අයත් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් පිරිසක් ද සහභාගී වන ලදි.